නවලොව

අපි මේ කියන්න යන කතාවට මුහුණ දුන් කෙනා ඔහුගේ බලවත් අකමැත්ත නිසාවෙන් ඔහු පිලිබඳව හෙළි කිරීමට කටයුතු නොකරමු.
ඔහුගේම බසින් කථාව මෙතැන් සිට...
ඇත්තටම මේක හීනයක්ද ? සැබෑවටම සිද්ධවෙච්ච දෙයක්ද කියල මම දන්නේ නැහැ. මේක උනේ ඇත්තටම 2012 අග භාගයේදී. මම කවුද කියල තවමත් මට නිච්චියක් නැහැ. ඒ දවස්වල අපල කාලේ කියල ඉතින් අපේ අම්මත් සාස්තරකාරයෝ පස්සේ ගිහින් මගේ ගැන සොයා බලද්දී උන් ටික නම් කිව්වේ "ඔයාගේ පුතා ඉන්න තැන එයාවත් දන්නේ නැහැ" කියල. ඇත්තටම මම ඉන්නේ කොතනද කියල මටවත් නිච්චියක් නැහැ. අදහසක් නැහැ. දැනගන්න ඕනෙත් නැහැ. මේ ඉන්න විදියට හිටියනම් ඇති. අනික ඔය අම්ම වගේ සාස්තර කාරයෝ පස්සේ යන්නත් මට පිස්සුවකුත් නැහැ.


විටෙක මා වටා වෙන සියල්ලම ගුප්තයි. 2012 අග භාගයේදී අපේ ගෙට ඉහලින් එළියක් පාත් උනා. ක්ෂණිකව එය ඉහලට නැගී නොපෙනී ගියා. ගෙදර උන්දැලටත් මොකදෝ කියල හිතාගන්න බැරුව හිටියේ මේ මොකක්දෝ කියල.
ඉතින් එදින රෑ මම නිදාගත්තම ජනේලේ පැත්තෙන් මහා එළියක් පාත් උනා. අනේ මංදා සිහිනයක්ද දන්නේ නැහැ. සැබෑවක්ද දන්නෙත් නැහැ. මම හොඳටම නිදාගෙන සිටි මොහොතක්


ඒ එළිය දිගේ මාව ඉහලට එසවෙන්න පටන් ගත්තා. කරකියාගත දෙයක් නොමැතිව අන්දමන්දව වෙන දෙයක් වෙච්චාවේ කියල මම බකන් නිලාගෙන හිටියා. ඇත්තටම හිතාගන්න බැරි තාක්ෂණයකින් යුත් යානාවකට මාව ඇදගෙන ගියා. ඒ යානාව තුලට අර විශාල ආලෝකය කදම්බය ඔස්සේ මා යානාව තුලටම ඇදී ගියා. ඒකෙ ඇතුලේ හිටියෙත් අමුතුම ජීවින්. යානාව වේගයෙන් ඇදුනා. යානාව කාන්තාරයක් මත තියෙන ගලින් තැනු මාලිගාවක් දෙසට පාත් කළා. ඒ මොහොතේ ඒ කාන්තාරයට දහවල් කාලය ලබල තිබ්බේ.
ඉතින් මමත් ඒ ජීවින් එක්ක මොකක්දෝ අමුතුම භාෂාවකින් කතා කළා. මමත් ඒ භාෂාව චතුර ලෙස කතා කලාට ඒ මොන භාෂාවක්ද කියල මේ මොහොතේ ලියන මමවත් දන්නේ නැහැ. මම එතරම් චතුර ලෙස නොදන්නා භාෂාවක් කතා කලේ කෙසේද කියලවත් මම දන්නේ නැහැ. මම ඒ ජීවින් සමග කතා කරේ කලෙක පටන් ඔහුන්ව හොඳින් දන්නා පුද්ගලයෙකු ලෙසයි. ඉදින් යානාව අර කියූ මාලිගාව ළඟ නතර කරලා අපි ඒ මාලිගාව දෙසට ඇදුනා.
පට්ට රස්නෙයි. කාන්තාරයක රස්නය තදින්ම එදා දැනුන. නමුත් අර ගලින් තැනු මාලිගය තුලට ඇතුළු උනාම රස්නය කොහෙන් ගියාද කියල දන්නේ නැහැ. වායුසමීකරණ පරාදයි. ඒ තරමට ඇඟට මාර සනීපයක් දැනුනේ.


ඉතින් ඒ මාලිගය ඇතුලේ වට මේස සාකච්චාවක් උන් මාත් එකතුකරගෙන පැවැත්වුවා. මොනා කතා කරාද කියල මට ඒ වෙලාවේ තෙරුනට දැන් ඒ භාශාවවත් මට තේරෙන්නේ නැහැ.
නැවත යානාවෙන් මම නිදාසිටි ඇඳ මතම මාව ගෙනල්ල දැම්ම.
එච්චරයි මතක. හැබැයි අර මම චතුර ලෙස කතා කරපු භාෂාව ගැන නම් මෙලෝ දෙයක් මතක නැහැ. ඒ ගැන වැටහීමකුත් නැහැ.
එකපාරටම නින්දෙන් අවදි උනා වගේ දැනුනා. එළිය ඈතට නොපෙනී ගියා. සිදුවුයේ කුමක්ද කියල මටවත් හිතාගන්න බැරිව එක එක ෆිල්ම් එහෙම බලල මනෝ විකාරයෙන් සිහිනයක් දැක්කේ කියල හිතාගෙන නැවත නිදාගත්තා.


ඊට මාස දෙකකට පස්සේ කතරගම ගියා පෙරහැර බලන්න. එදා මා ඉදිරියට පැමිණි අමුත්තෙක් "ඔයාට කිසිම සිංහල වචනයක් හරියට උච්චාරණය කරනන් බැහැ" කියලා කියපි. ඉතින් ඕක ඇත්ත. උපතින් සිංහලයෙක් උනාට මම සිංහල කතා කරද්දී වචන තැපලෙනවා. Pronunciation හරියට කෙරෙන්නේ නැහැ. ඉදින් ඌ කියපි උඩින් ආපු ළමයට මෙහෙ භාෂාව නුහුරුයි තමයි කියල. ඒ අමුත්තා එදා කියපු කතාවයි මම අර දැක්කාය කියපු සිහිනයක් වගේ දෙය තුල කතා කරපු අමුතු භාෂාවයි ගැන මතක් කරමින් මා ගැනම ස්වයං අධ්‍යනයක යෙදෙන්න උනා.
එහෙත් තවම මා කවුද කියල මටවත් වැටහෙන්නේ නැහැ.
ඔහුගේ බසින්ම කී කථාව මෙතනින් නිමි...
ඇත්තටම මේක කියවපු ගොඩ දෙනෙක් මේක අසත්‍ය යැයි හෝ සත්‍ය යැයි හෝ හැඟෙන්නට පුළුවන්. විමර්ශනයෙන් බැලීම වටී.

Post a Comment

Powered by Blogger.