මෑතක සිට ටිබෙට්‌ බුදුදහම ගැන වැඩිපුර ලියන්නේ ඇයි දැයි සමහරු මගෙන් අසති. මම ටිබෙට්‌ බුදු දහමේ අසීමිත දැනුම් සම්භාරය නොසලකා හැරීම වරදක්‌ කොට සලකමි. ටිබෙට්‌ බුදු දහම පුරාම ඇති එක්‌තරා අපූර්වතාවක්‌ පැහැදිලිව දැකගත හැකිය. ටිබෙට්‌ බෞද්ධ සම්ප්‍රදාය අනුව ආගම සහ දේශපාලන න්‍යාය යනු එකම ගසක අතු දෙකකි. 
විසිඑක්‌වන සියවසට පැමිණ දශක දෙකක්‌ ඉකුත් වීමට ආසන්න මේ මෙහොතේ ශ්‍රී ලංකාවාසී අප විසින් පසක්‌ කරගත යුතු අමිහිරි සත්‍යයක්‌ ඇත. "මේ රට තුළ පවතින වගකීම් රහිත දේශපාලන සංස්‌කෘතිය මගින් පතුළ නොපෙනෙන යළි ගොඩට පැමිණිය නොහැකි ආගාධයක්‌ කරා අප හැම දෙනම කැන්දාගෙන යන්නේය" යන කරුණ ඒ අමිහිරි සත්‍යයයි. මේ රටෙහි දේශපාලනය රා බී වල්මත් වූ ආධුනිකයන් දෙපිරිසක්‌ අතර සිදුකෙරෙන පන්දු ක්‍රීඩාවක්‌ වැනිය. පන්දු ක්‍රීඩාව හරිහැටි කරන හැටි දෙපිරිසෙන් එක්‌ පිරිසක්‌වත් නොදනිති. පරණ කෝන්තර පිරිමසා ගැනීම හැර රට කරවන්නට දෙපිරිසෙන් කාටවත් උනන්දුවක්‌ නැත. පන්දුව අනෙකා වෙත විසිකිරීම හැර වෙනත් සාධනීය ක්‍රියාවලියක්‌ අද දේශපාලන කරලිය තුළ දකින්නට නොමැත. 
ලෝකපාලක දෙවිවරුන්, සාශනාරක්‍ෂක දෙවිවරුන් වෙත්නම් ඔවුන් අද කොහිද? ලක්‌දිවට අධිගෘහිත එකී මෙකී නොකී ආරක්‍ෂක දෙවිවරුන් අද සිදුවෙමින් තිබෙන ස්‌වභාවික විපත් හා පාරිසරික හානි වැළැක්‌වීමට නොහැකිව ලැඡ්ජාවෙන් පසුබා ගියාවත් ද? 
අපරට තුළ සුවිසල් ආධ්‍යාත්මික රික්‌තයක්‌ සෑදෙමින් ඇත. දේශපාලනික රික්‌තයක්‌ සෑදෙමින් ඇත. එනමුත් ඒ රික්‌තය පිරිවසාලන්නට හැකි සමතෙකු ඉදිරියට පැමිණ වැඩ අල්ලන බවක්‌ ද පෙනෙන්නට ඇත. කියන දේ කරන කරන දේ කියන දේශපාලන නායකයන් වහාම අවශ්‍යව ඇත. තනතුරු තාන්න මාන්නවලට ගැති නොවී පැත්ත ගියත් ඇත්ත කියන ආගමික නායකයන් විශාල පිරිසක්‌ වහාම අවශ්‍යව ඇත. නෑ බෑ නොකියා වගකීම්වලට කරගහන ආරක්‍ෂක දේවතාවුන් දෙතුන් දෙනකු නොව බැටලියන් එකක්‌ම මෙරටට අවශ්‍යව ඇත. ටිබෙට්‌ බුදු දහමෙහි කියෑවෙන ආධ්‍යාත්මික දේශපාලන නායකයන් බලහත්කාරයෙන් හෝ මෙරටට කැඳවාගෙන එන්නට සිදුව ඇත්තේ එබැවිනි.
පිටසක්‌වල දේශපාලන නායකයන් අතර අක්‍ෂෝභ්‍ය යන නම වෙසෙසින්ම කැපී පෙනෙයි. ටිබෙට්‌ බෞද්ධ සාහිත්‍යය තුළ අක්‍ෂෝභ්‍ය නාමයට සුවිශේෂී තැනක්‌ හිමිවෙයි ජපානයේ ෂින්ගොන් බෞද්ධ සම්ප්‍රදාය තුළ ද අක්‍ෂෝභ්‍ය බෞද්ධ නායකයකු ලෙස හරසරට ලක්‌ව ඇත. සමහර තැනක බෝසත්වරයකු ලෙසත් තවත් තැනක බුදුවරයකු ලෙසත් හැඳින්වෙන ඔහු "අචල" නම් වූ ගුණය නියෝජනය කරයි. අචල යන පදයෙන් නොසැලෙන සුළු බව, අකම්පිත බව හා අපරාජිත නායකත්වය නිවේදනය කෙරෙයි. ටිබෙට්‌ බුදු දහමෙහි ප්‍රධාන ආධ්‍යාත්මික නායකයන් පස්‌දෙනෙකි. ඒ නායකයෝ "ධ්‍යානි බුද්ධ" යන ගෞරව නාමයෙන් හඳුන්වනු ලැබෙති. ධ්‍යානි බුදුවරුන් පස්‌දෙනා විවිධ ගුණ සම්බන්ධව ප්‍රසිද්ධියක්‌ උසුලති. අක්‍ෂෝභ්‍යගේ අචල ගුණයට අතිරේකව එතුමාගේ අනභිභවනීය බුද්ධි මහිමය වජ්‍රයාන ඇදුරන්ගේ පොතපත තුළින් වර්ණනා කර ඇත. අක්‍ෂේභ්‍ය යනු අකම්පිත දේශපාලන නායකයෙකි. සක්‌වල අතර සැරිසරමින් මිනිසුන් යහ මගට යවන බෝධිසත්වයෙකි.
මහාගුරු පද්ම සම්භවගේ යෝග විද්‍යා රහස්‌ අත්පොතෙහි සඳහන් වන පරිදි ලෝකය පඨවි, ආපෝ, තේජෝ, වායෝ ආකාශ යන මූලධාතු වලින් නිර්මාණය වී ඇත. මෙහි ආකාශ හා වායෝ යන මූලයන් දෙක අතර වෙනස ඉතා සියුම්ය. ආකාශ යනු ඉඩකඩයි. වායෝ යනු වාතයයි. ආකාශය හා වාතය යනු දෙකක්‌ය යන අවබෝධය වජ්‍රයාන ඉගැන්වීම්වල පැහැදිලිව දැක්‌වෙයි.
අභිරති ලෝකයේ මහා බුද්ධිමතා වන අක්‍ෂෝභ්‍ය ජලය නම් වූ මූලධාතුව නියෝජනය කරයි. වජ්‍රයාන මූල ග්‍රන්ථයන්හි කියෑවෙන පරිදි ලෝකය යථාර්ථ වශයෙන් පවතින එකක්‌ ද නොවේ. ලෝකය හුදු මායාවක්‌ ද නොවේ. ලෝකය යථාර්ථය හා මායාවෙහි අපූරු සංකලනයකි. මහා පර්වර්තක මර්පා ලොත්සාවා විසින් මායාව හා යථාර්ථය අතර වෙනස මෙසේ විස්‌තර කර දී ඇත.
"ලෝකය යථාර්ථ වශයෙන් පවතී යෑයි කීම එක්‌තරා අන්තයකි. ලෝකය මායාවක්‌ ලෙස ගැනීම ද තවත් අන්තයකි. ලෝකය මායාවක්‌ නම් බුදු පසේබුදු මහරහත්වරුන් ද මායාවන් ලෙසම සැලකිය යුතුය. නිවන් දැකීමට උත්සාහ කිරීම ද නිවන ද මායාවක්‌ ලෙසම සැලකිය යුතුය. එසේ නම් සත්‍යය පවතින්නේ කොතැනද? ලෝකය මායාව සහ යථාර්ථය අතර මැද හරියේ පවතින්නේ යෑයි කීවොත් එය වඩාත් සාධාරණය"
මෙතැනදී වඩාත් සංකීර්ණ ප්‍රශ්නයක්‌ මතුවෙයි කවර දේ මායාවක්‌ ලෙස සැලකිය යුතු ද? කවරදේ යථාර්ථ වශයෙන් පවතින බව පිළිගත යුතු ද? සත්තකින්ම බුදුදහම ශාඛාවන්ට බෙදී යැමට එක්‌ මූලික හේතුවක්‌ වනුයේ ද යථාර්ථය හා මායාව අතර පවතින විසංවාදයයි. මූලික සූත්‍ර ගණයට වැටෙන 
මඡ්ජදී සූත්‍ර දේශනාවෙහි ලෝකය යථාර්ථය හා මායාව අතර මැද පවතින්නේය යන පැහැදිලි නිගමනය දක්‌වා ඇත. එනමුත් මහායන විඤ්ඤාණවාදීහු ලෝකය හුදු මායාවක්‌ ලෙස සලකති. මහායාන විඤ්ඤාණවාදයේ මූල බීජය නාගර්ජුනගේ මූලමාධ්‍යමික කාරිකාව තුළිsන් හමුවෙයි. එකක්‌ අනෙකට සාපේක්‍ෂව කරනු ලබන අර්ථ දැක්‌වීම් මිසක කිසිවක්‌ නිරපේක්‍ෂකව නොපවතින බව මූල මාධ්‍යමික කාරිකාවෙහි විස්‌තර වෙයි. "නිවන සසරට සාපේක්‍ෂකය- සසර නිවනට සාපේක්‍ෂකය- එබැවින් නිවන සසරට සමානය - සසර නිවනට සමානය" යන අප්‍රභංශය නාගර්ජුනගේ ඉගැන්වීම් තුළින් හමුවෙයි.
මහායාන මූලධර්ම අතර ප්‍රධානතම එකක්‌ ලෙස සැලකෙන ශූන්‍යතාවාදයට පසුබිම් වන්නේ ද නාගර්ජුනගේ එකී ඉගැන්වීමය. මහායාන ශූන්‍යතවාදය තවදුරටත් දියුණු වීමෙන් විඤ්ඤාණවාදී ගුරුකුලය බිහිවිය. මහායාන විඤ්ඤාණවාදයේ මූලික ඉගැන්වීම විඤ්ඤප්තිමාත්‍රතාසිද්ධිවාදය නම් වෙයි. අප එදිනෙදා අත්දකින සියලු සිදුවීම් ද සත්ත්ව පුද්ගල ආදී ප්‍රපංචයන් ද සිතෙහි හටගන්නා හැගීම් දැනීම් මිසක වෙන කවරක්‌ හෝ නොවන්නේය යන කරුණ විඤ්ඤප්තිමාත්‍රතාසිද්ධිවාදයේ හරයයි. විඤ්ඤප්තිමාත්‍රතාසිද්ධිවාදය එක්‌තරා කරුණක්‌ මත ශූන්‍යතාවාදයෙන් වෙනස්‌ වෙයි. ශූන්‍යතාවාදය අනුව සියල්ලම මායාවකි. එනමුත් මහායාන විඤ්ඤාණවාදය අනුව විඤ්ඤාණය යථාර්ථ ලෙසම පවතියි. අනෙකුත් සියල්ල විඤ්ඤාණය මත හටගන්නා ප්‍රතිබිම්බයන් මිස අනෙකක්‌ නොවේ. මහායානිකයන් විඤ්ඤාණය ලෙස අදහස්‌ කළේ සිතයි. 
මහාසාංඝිකයන්ගෙන් භින්නවූ ථෙරවාදී සාර්වස්‌තිකවාදීහු මීට ප්‍රතිපක්‍ෂ ලෙස සියල්ල යථාර්ථ ලෙස පවතින බව විශ්වාස කළහ. අප අදහන "නව ථෙරවාදය" ලංකවේ බිහිවූවකි. නව ථෙරවාදී ගුරුකුලය අනුරපුර මහාවිහාරය තුළින් බිහිවූවක්‌ බවට සාක්‍ෂි ඇතිමුත් නව ථෙරවාදය කවදා කවුරු නිර්මාණය කළේ ද යන්න සැක සහිතය. එනමුත් නව ථෙරවාදය එකලස්‌ කර විසුද්ධිමාර්ගය ඇතුළු අර්ථකතා ලිවීම තුළින් බද්ධගෝඝ හිමි ථෙරවාදී මහැදුරා ලෙස ගෞරව සම්මානයට පාත්‍රවූයේය. දැනට අනෙකුත් ථෙරවාදී රටවල පිළිගනුයේ ද ශ්‍රී ලංකාවේ හටගත් නව ථෙරවාදයයි.
නව ථෙරවාදය අධිතාත්වික පදනමක්‌ මත සකස්‌ වූවකි. ථෙරවාදය අනුව සතත්aවයකු හෝ පුද්ගලයකු නොමැත. චිත්ත, චෛතසික, රූප, නිර්වාණ යන සතර පරමාර්ථ ධර්ම පමණක්‌ යථාර්ථ ලෙස පවතියි. අනෙක්‌ සියල්ල යථාර්ථ නොවූ ප්‍රපංචයන්ය. මේ නව ථෙරවාදයේ පදනමයි. අවාසනාවකට මෙන් නව ථෙරවාදයේ පදනම මූලික සූත්‍ර සමග කිසිසේත් නොපෑහෙයි. නව ථෙරවාදයේ පදනම ථෙරවාදීන්ගේ ක්‍රියා කලාපය හා විශ්වාසයන් සමග නොපෑහෙයි. සත්ත්වයෙක්‌ පුද්ගලයකු යථාර්ථ ලෙස නැතිනම් බුදුවරයකු සිටිත හැකි ද යන ප්‍රශ්නයට පිළිතුරු දීමට ථෙරවාදීන් අපොහොසත්ය. මාර්පා ලොත්සාවා මේ ප්‍රශ්නය කල්තබාම විසදූ බව ථෙරවාදීන් දැන සිටියේ නැත. සත්ත්වයකු පුද්ගලයකු නැත යන වාදය බුද්ධ කාලයේ භික්‍ෂූන්වහන්සේලා සය නමක්‌ අතර ඇති වූ බව නව ථෙරවාදීන් නොසලකා හැර ඇත. ලෝකය යථාර්ථය හා විඤ්ඤප්ති මාත්‍රයන් අතර මැද පවත්නා බව සූත්‍ර පිටකයේ මඡ්ෙදි සූත්‍රයෙන් ඉගිකෙරෙන බව නව ථෙරවාදී ආචාර්යවරුන් දැන සිටියේ නැත.
මේතාක්‌ විස්‌තර දැක්‌වූයේ ථෙරවාදය තර්ක කර බිඳ දැමීමට නොවේ. අක්‍ෂෝභ්‍ය කුමාරයාගේ රසවත් ඉගැන්වීම් කිහිපයකට ප්‍රවේශයක්‌ ලෙස බුද්ධිමය කුතුහලය අවුස්‌සාලීමටය. ටිබෙට්‌ බුදු දහමෙහි කියෑවෙන පරිදි අක්‍ෂෝභ්‍ය යනු යථාර්ථය හා මායාව අතර වෙනස පහදා දීමේ ගජ සමතෙකි. අභිරති ලෝකධාතුව තුළ තවමත් ජීවත්වන ඔහු පෘථිවි තලයේ වෙසෙන බෞද්ධයන්ට වැරදුනු තැන් කියාදී ඔවුන් නියම මගට හරවා යෑවීමට සූදානමින් සිටියි.
අක්‍ෂෝභ්‍ය සක්‌වල චාරිකාවෙහි යෙදීමෙහි කැමැත්තෙන් පසුවෙයි. හේ ඉඳහිට මෙළොවට පැමිණ මිනිසුන්ට ගුරුහරුකම් දෙයි. ටිබෙට්‌ විහාර චිත්‍රයන්හි නිල් පැහැ සිරුරකින් ප්‍රසන්න මුහුණකින් හා කඩා හැලෙන සිවුරකට සමාන ඇඳුමකින් යුතු පිටසක්‌වල ජීවියකුගේ රූපයක්‌ දැකගත හැකිය. ඒ අනෙකෙකු නොව බෞද්ධ භික්‍ෂුවකගේ ඇඳුනේ සැරසුණු නුවණට අධිපති අක්‍ෂෝභ්‍ය බෝධිසත්වයාණන් වහන්සේය. අක්‍ෂෝභ්‍ය මෙලෙසින් පෘථිවියට පැමිණි අවස්‌ථාවක මෙසේ කීය
"ලෝක ධාතූන්හි ජීවයේ පරිණාමය හුදෙක්‌ම ස්‌වභාවික ක්‍රියාවලියක්‌ නොවන්නේය. පිටසක්‌වල ජීවීහූ විවිධ හේතුමත වෙනත් සක්‌වල ජීවීන්ගේ පරිණාමයට හා දියුණවට උදව් කරති. එක්‌ ලෝකධාතුවක්‌ සැලකූ කල්හි එය සදාකලික නොවේ. විශ්වයේ එක්‌ ලෝකධාතුවක්‌ නැසී ගිය ද අනෙක්‌ ලෝකධාතු විනාශ නොවී පවතියි. මෙයාකාරයෙන් විනාශ වූ ලෝකධාතු මත බොහෝ කලකට පසු ජීවය නැවත නිර්මාණය වෙයි. අලුතින් ඇතිවූ ලෝකධාතු මත අනුක්‍රමයෙන් ඇතිවන මනුෂ්‍යයන්ට වෙනත් සක්‌වල දියුණු ජීවීහු සහාය වෙති. ඔවුන් වෙත පැමිණ විවිධ විද්‍යාවන් උගන්වති. මේ ආකාරයට සාග ලෝකයෙන් පෘථිවියට පෘථිවියෙන් සාගලෝකයට දීර්ඝ කාලයක්‌ තිස්‌සේ දැනුම හුවමාරු විය"
"පෙරකල පෘථිවියෙහි කෝණාගමන නම් බුදුවරයෙක්‌ වැඩ වාසය කළහ. කෝණාගමණ බුදුන්ගේ සමයෙහි පෘථිවිවාසීහු අදට වඩා විවිධ විද්‍යාවන් දැන සිටියහ. එකල සිටි යෝගීහු කුණ්‌ඩලනී යෝග විද්‍යාවේ පරතෙර පැමිණ සිටියහ. කුණ්‌ඩලනී යෝග ක්‍රමයට අයත් කාලතරණ මූලධර්මය අනුව කය මෙහි තබා වෙනත් ඕනෑම තැනක සූක්‍ෂම කයකින් පෙනී සිටිය හැකිය. එකල මෙහි සිටි යෝගීහු අභිංඥා බලයෙන් සාග ලෝකයට පැමිණ එහි වැස්‌සන්ට අනුකම්පා කර විවිධ විද්‍යාවන් ඉගැන්වූහ. මෙයාකාර ක්‍රියාවලියක්‌ විශ්වීය යහපැවැත්ම සඳහා අනිවාර්යයෙන්ම පැවතිය යුතුය. මන්දයත් කල්ප විනාශයෙන් එක්‌ සක්‌වලක්‌ නැසුන ද ලෝකධාතු අතර දැනුම හුවමාරුව නිසාවෙන් ඒ ලෝකවාසීන්ගේ දැනුම ආරක්‍ෂා වෙයි".
අක්‍ෂෝභ්‍යගේ ඉගැන්වීම් අතර ලෝකධාතු අතර දැනුම සංසරණය පිළිබඳ මතවාදය ද බෝධි චර්යාව ද වෙසෙසින්ම කැපී පෙනෙයි.
අනන්ත අප්‍රමාණ විශ්වය තුළ පවත්නා මනුෂ්‍ය ලෝකවල ගණන කිව නොහැකි තරම්ය. අපගේ ලොවෙහි මෙන්ම බුදුවරු, බෝසත්වරු, මුණිවරු හා සෘද්ධිමත්හු වෙනත් ලෝකධාතුවල වෙසෙති. වෙනත් ලෝකධාතු වලින් ලබාගත් දැනුම ඇසුරෙන් අතිශීඝ්‍ර ලෙස සසර සයුර තරණයෙහි යෙදීම වජ්‍රයානය නම් වෙයි.
වජ්‍රයානය යන නම කියූ සැනින් වජ්‍රායුධය සිහිපත් වෙයි. මෑත කාලීනව ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍ෂේත්‍රයේ ප්‍රබලයකු අත වජ්‍රායුධය ලෙලදෙනු දක්‌නට හැකිවිය. වජ්‍රය පිළිsබඳ මුල්ම විස්‌තර හමුවනුයේ සූත්‍රපිටකයෙනි. ශක්‍රයා නිතරම සිය ආරක්‍ෂාව පිණිස වජ්‍රායුධයක්‌ ළග තබාගත්තේය. එබැවින් හේ වජ්‍රධර නම් විය. වජ්‍රයාන බුදුදහම ලෝකධාතු අතර බෙදා දෙන වජ්‍රයෝගිනී හා අක්‍ෂෝභ්‍ය යන දෙදෙන වජ්‍ර නම් පවුල් පරම්පරාවට අයත් වෙති. ඔවුන්ගේ ආරක්‍ෂාව සඳහා ළග තබාගන්නා ආයුධ අතර වජ්‍රයට මුල්තැන ලැබෙයි. මහායෝගී මිලාරෙපා සිය ආරක්‍ෂාවට වජ්‍රයක්‌ ළග තබාගත්තේය. මිලාරෙපාගේ ඓතිහාසික වජ්‍රය අදට ද එතුමාගේ ගෝල පරපුර සතුව පවතියි.
මතු සම්බන්ධයි
නිලන්ත හෙට්‌ටිගේ

Post a Comment

Powered by Blogger.